බැලු බැල්මට සරළ ලෙස පෙනුණත් කඩදාසි කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ සැඟවගත් බොහෝදෙනකු නොදත් රහස් අපමණ ය. රසවත් සිද්ධි හා බැඳුණු ඇතැම් රහස් ශතවර්ෂ ගණනක සිට වර්තමානයට පැවත ආ සම්ප්‍රදායික රහස් ය. වරක් බැලු පමණින් කැපී පෙනෙන වෙනසක් දැකිය නොහැකි නමුත් සැම කඩදාසි කුට්ටමක්ම නිර්මාණය වී ඇති ආකාරය, එහි මුද්‍රිත වර්ණ හා රටාව හා එහි අතීතය හා බැදුණු රහස් ගොන්නක් සඟවාගෙන සිටියි.
කඩදාසි කුට්ටමේ සම්භවය තරම් ඈත අතීතයක සිට පැවත එන ඇතැම් රස මුසු රහස් එහි විකාශයත් සමඟ කාලයේ වැලි තලාවට යටව ගොස් ඇත. තවත් රහස් කඩදාසි කුට්ටම වාණිජ අරමුණු සඳහා යොදාගන්නා කැසිනෝ ශාලා හිමියන් තම ප්‍රයෝජනය තකා සදාකාලික රහස් ලෙස තබා ගැනීමට ගන්නා උත්සාහය තුළ සැඟවී ගොස් ය. කැසිනෝශාලා හිමියන්ටම සීමාවූ එබදු රහස් සමහරක් සැඟවි තිබෙන්නේ කාඩ්පත්වල පිටුපස මුද්‍රණයව තිබෙන මෝසතරයේ ය. ඇතැම් කඩදාසි කුට්ටම්වල පිටුපස සිත්ගන්නාසුලු වර්ණ හා රූප රටාවන්ගෙන් අලංකාර කොට තිබුණත්, දිගු කල් පැවැත්මෙන් මෙන්ම ගුණාත්මක බවින්ද වැඩි කඩදාසි කුට්ටම්වල පිටුපස සරසා ඇත්තේ ඉතාම සරළ ඒකාකාරි මෝස්තරයකිනි. වර්ණ එකකට හෝ දෙකකට පමණක් සීමාවූ මේවායේන් නිරූපණය වන්නේ සමමිතික මෝස්තරයි. එහිදි කැසිනෝශාලා හිමියන් මෙන්ම කඩදාසි කුට්ටමෙන් ඇස් බැන්දුම් ඉදිරිපත් කිරීමෙහිලා කෙළ පැමිණි විජ්ජාකරුවන්ගේද අවධානය හිමිවන්නේ එකම එක් කරුණකටයි. ඒ කාඩ්පත්වල රාමුවක් සටහන්ව තිබේද, නැතහොත් එහි නිරූපිත මෝස්තරය දාරය දක්වාම විහිද යන්නේද යන්නයි. මෙම කරුණ තුළ කැසිනෝ ක්‍රීඩාවේ මෙන්ම කඩදාසි විජ්ජාවන්ගේද රහස් බොහෝමයක් ලැගුම්ගෙන ඇති බව තතු දන්නෝ කියති.
පියවි ඇසට නොපෙනුණත් කඩදාසි කුට්ටමක් නිර්මාණය කිරිමේදී තියුණු තල මඟින් එය කැපෙන දිශාව අනුව ඊට හිමිවන ‘ඇල දාරද‘ විජ්ජාකරුවන්ට නැතුවම බැරි සාධකයකි. කඩදාසි දාරය ආනතව ඇති දිශාව අනුව එහි පිටුපස හෝ මුහුණත සුළු වශයෙන් විශාලත්වයෙන් වැඩිවන අතර එය තීරණය වන්නේ කුට්ටම කැපීමේදී එහි උඩුඅතට හැරවී තිබෙන මුහුණත අනුවය. ‘රිචඩ් ටර්නර්‘ වැනි විජ්ජාකරුවන් මෙම ආනත දාර මහත්සේ අගය කොට සලකන අතර ඔහු සතුව තමාටම අනන්‍යවූ විශේෂිත කැපුම් දාර සහිත කඩදාසි කුට්ටම් කිහිපයක්ම ඇති බව කියැවේ.
නවවන ශතවර්ශය තරම් ඈත අතීතයකදී චීනයේ උපත ලැබ සම්භවය වුවත්, දහහතරවන සියවස වනවිට යුරෝපය පුරාම ව්‍යාප්ත වූ කඩදාසි කුට්ටමට ‘හාරත‘, රුයිත, ඉස්කෝප්ප, හා කලාබර ලෙස ගොනු හතරක් ඇතුළු කළේ ප්‍රංශයයි. රාජකීය කාඩ්පත් ගොනු ගණන රජු, රැජිණ, බුරුවා ( Jack ) ලෙස තුනක් දක්වා අඩු කරනු ලැබුවේත් ප්‍රංශ වැසියන් ය. ඇමරිකානුවන් විසින් කඩදාසි කුට්ටමට එක්කළ එකම කාඩ්පත වන්නේ ‘මෝඩයාගේ‘ ( Joker ) කාඩ්පතයි. 1800දී පමණ ඇමරිකාවේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ‘යූකර්‘ නමැති ක්‍රීඩාව වෙනුවෙන් මෝඩයාගේ කාඩ්පත කඩදාසි කුට්ටමට එක්වුයේ ජර්මානුවන් අතර භාවිතාවූ ‘ජූකර්‘ නමැති කාඩ්පත ඇසුරිණි.
කඩදාසි කුට්ටමේ එක් එක් ගොනුවේ වටිනාකමින් වැඩිම කාඩ්පත ‘ආසියා‘ කොළයයි. හාරත, රුයිත, කලාබර, හා ඉස්කෝප්ප යන ගොනු හතර අතරින් වඩාත්ම කලාත්මක ලෙස නිර්මාණය වූ ආසියා කොළය ලෙස ඉස්කෝප්ප ආසියාට සුවිශේෂි වැදගත්කමක් ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජයයි. 1765 තරම්වු අතීතයක සිට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව තුළ අලෙවි කෙරුණු සෑම කඩදාසි කුට්ටමකින්ම බද්දක් අයකර ගැනීමට තීරණය කළ බ්‍රිතාන්‍ය රජය, එකී බද්ද ගෙවු බව සංකේතාත්මකව සටහන් කර දැක්වුයේ කලාබර ආසියාව මත මුද්‍රාවක් තැබීමෙනි. එකල මෙම මුද්‍රාවට නෛතිමය වශයෙන් කෙතරම් වැදගත්කමක් හිමිවුවාද යත් ඒ මත ව්‍යාජ මුද්‍රාවක් සටහන් කළ අයෙක් පෝරකයට යැවිණ. කඩදාසි කුට්ටම් බද්ද අත්සිටුවා බොහෝ කල් ගත වීත් තිබුණත් ඉස්කෝප්ප ආසියාවේ නිර්මාණ සම්ප්‍රදාය බැහැරවී නැත.
කඩදාසි කුට්ටම් රජවරු සිව්දෙනාගෙන් නිරූපිත චාල්මැග්නේ, ඩේවිඩ්, සීසර් හා ඇලෙක්සැන්ඩර් යන මහා අධිරාජ්‍යයන් එහි පෙනී සිටින ආකාරය හා ඔවුන්ගේ සංකේතාත්මක නීරූපණයන් අදටද කුතුහලයට බදුන් වූ මාතෘකාවන් ය. මීට හොඳම නිදසුන රුයිත රජු වන සීසර් ය. රජවරු සිව්දෙනා අතරින් මුහුණ පැත්තකට හරවාගෙන සිටින සේ නිරූපිත එකම එකැස් රජු ද කඩුවක් නොව පොරවක් දරාගෙන සිටින රජුද මොහුය. නමුත් මේ සියල්ල අතරින් සීසර් විශේෂ වන්නේ රජෙකු ලෙස නිරූපණය වුවත්, ඔහු සැබවින්ම ‘මෝර්ස්‘ මිථ්‍යාකල්පික ජනප්‍රවාදවල සඳහන් “ඕඩින්‘ නමැති දෙවියෙකු වන නිසයි. ඔහුගේ පොරව ඕඩින් සතු හෙල්ලයට සමාන වන අතර, එය ඔහුගේ දෑස් මානයේ නොව හිසට පිටුපසින් ස්ථානගතව තිබෙන්නේ සුදුසු වේලාවේදි සිය දේව බලයෙන් ක්ෂණිකව පහරදීමට බව ඕඩින් අනුගාමිකයින්ගේ විශ්වාසයයි. පුරාණ රූපාක්ෂරවල සැඟවුණු රහස් අවබෝධ කර ගැනීමට තම එක් ඇසක් පරිත්‍යාග කළ ඕඩින්, පැත්තට හැරී සිටින සේ සිතුවම් කර ඇත්තේ එම අඩුව මකාලීමටයි.
සිය කඩුව හිසට ඇතුළු කිීමට සුදානමින් සිටින සේ නිරූපිත හාරත රජු නොහොත් චාල්මැග්නේ ඒකී ඉරියව්ව නිසාම ප්‍රචලිතව සිටින්නේ ‘සියදිවි නසාගන්නා දුක්ඛිත රජු‘ ලෙසයි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ කඩදාසි කුට්ටම් සිතුවම් 1565දී මුලින්ම නිර්මාණය කළ ප්‍රංශයේ ‘පියරේ මැරඩෙලිට‘ කාඩ්පතේ ඉඩකඩ මදිවීම නිසා සිදුවු අකරතැබ්බය දිගින් දිගටම එයාකාරයටම අනුගමනය කිරිමකි. කලාබර රජුවන මහා ඇලෙක්සැන්ඩර්ගේ දෑතේ හොවාගෙන සිටිය යුතු රාජකීයත්වය හඟවන ‘මණ්ඩලය‘ ඔහුගේ රාජකීය සළුවේම කොටසක් ලෙස සිතුවම්ව ඇත්තේ ද එම මුල්පිටපතේ සිදුවූ අඩුපාඩුවක් දිගින් දිගටම අනුකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් කඩදාසි කුට්ටම සමඟ ඔට්ටු වෙමින් ඉන් ශිල්ප දක්වන විජ්ජාකරුවන්ට නම් දැන් මෙම අත්වැරදීම් නැතුවම බැරි අවශ්‍යතා බවට පත්ව අවසන් ය.
`|| උපුටා ගැනීමකි ||
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments