වාර්තාගත පිතිහරඹයක නිරතවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 229ක සම්බන්ධතාවක් ගොඩනැගීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගය කඩුලු 8කින් ජයගත් ශ්‍රී ලංකා පිල තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1කින් පෙරමුණ ගැනීමට සමත් විය.
ඕවර 37ක්ම පළමු කඩුල්ලේ සම්බන්ධතාව මැනවින් පවත්වාගෙන ගිය මේ පිතිකරු යුගළයම ඊයේ වාර්තා කළේ ඔවුනොවුන්ගේ මංගල එක්දින ශතක රැස් කිරිමට සමත්වූ අතර 37 වැනි ඕවරයේ අවසන් පන්දුවට දික්වැල්ල දැවීගියේ ලකුණු 102 ලබාගැනීමෙන් පසුවය. ලකුණු 64ක් ලබා සිටියදී ෂෝන් විලියම්ස්ගේ පන්දුවකට ටරිසායි මුසකන්ඩා වෙත දුන් උඩපන්දුව අතහැරීමෙන් ජීවය ලැබූ 24 හැවිරිදි මේ වමත් පිතිකරුවා දැවීයනවිට පන්දු 116කට මුහුණදී තිබූ අතර ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් විය.
මොහොතකට පසුව සිය මංගල ශතකය වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 237දීය. ෂෝන් විලියම්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීයනවිට 26 හැවිරිදි මේ වමත් පිතිකරුවාගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුළත්වී තිබු අතර පන්දු 111ක් වැයකොට තිබිණි.
අනතුරුව කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ ඕවර 2කුත්, පන්දු 2ක් ඉතිරිව තිබියදීය. වේගවත් පිතිහරඹයක නිරතවූ උපුල් තරංග නොදැවී රැස් කළ ලකුණු 44ට වැයවූයේ පන්දු 32ක් පමණි. ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් එක්විය. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 28ක් ලැබුවේ පන්දු 25කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය.
මෙය සූරියවැව ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි. ඊට පෙර 2014 අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය ලකුණු 275ක ඉලක්කයක් හඹා ගොස් ජයගත්තේය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරියුමෙන් ඉනිම ඇරැඹූ සිබ්බාබ්වේ පිලේ පළමු කඩුල්ල ලකුණු 39දී බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත්විය. ඔහු විසින් යවන ලද ඉනිමේ අටවැනි ඕවරයේ දී සොලොමන් මයර් ලකුණු 13කට දැවී ගියේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙනි.
අනතුරුව හැමිල්ටන් මසකඩ්සා සහ අංක 3 පිතිකරු ටරිසායි මුසකන්ඩා එක්ව ලකුණු 166 දක්වා ඉනිම ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. මේ දෙදෙනා දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 127කි. මෙවර තරගාවලියේ පළමුවරට ක්‍රීඩා කළ මුසකන්ඩා ඉතා මැනවින් පිතිහරඹයේ නිරතවූ අතර සිය ජ්‍යෙෂ්ඨ පිතිකරු මසකඩ්සාට ලබා දුන්නේ අනගි සහයකි. එහෙත් අර්ධ ශතකයට ලකුණු 2ක් ඉතිරිව තිබියදී ඔහු දවාලමින් ශ්‍රි ලංකා පිලට හිසදරයක්ව පැවැති සම්බන්ධතාව බිඳ දැමීමට අසේල ගුණරත්න සමත් විය.
මුසකන්ඩාගේ දැවීයාමෙන් පසුව ක්‍රෙග් අර්වින් සමග එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 191 දක්වා ඉහළ දැමූ මසකඩ්සා ඉනිමේ 33 වැනි ඕවරය යැවීමට කැඳවූ වනිඳු හසරංගගේ පළමු පන්දුවටම දැවී ගියේ නුවන් ප්‍රදීප් අතට උඩපන්දුවක් ලබා දීමෙනි. පන්දු 98කින් ලකුණු 111ක් රැස් කළ මසකඩ්සාගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.
සිම්බාබ්වේ පිලේ සිවුවැනි කඩුල්ලත් දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේය. දෙවැනි එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාලූ මේ යොවුන් පන්දු යවන්නා යැවූ 35 වැනි ඕවරයේ පස්වැනි පන්දුවෙන් ලකුණු 16ක් ලැබු ක්‍රෙග් අර්වින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යද්දී මුලු ලකුණු සංඛ්‍යාව 206ක් විය.
ඉන් පසුව ෂෝන් විලියම්ස් සහ මැල්කම් වොලර් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුලු ලකුණු සංඛ්‍යාව 256 දක්වා ඉහළ දැමූවේය. එය බිඳ වැටුණේ අසේල ගුණරත්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් විලියම්ස් ලකුණු 43කට දැවීයාමත් සමගිනි.
45 වැනි ඕවරය දක්වා සිම්බාබ්වේ පිලේ ලකුණු ලබාගැනීමේ වේගය පාලනය කිරිමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් අවසන් ඕවර 5තුළ සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 53ක් උදුරාගත්හ. විශේෂයෙන් ලසිත් මාලිංග යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී හතරේ පහර 2ක් සහ අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ලකුණු 300 සීමාව පසු කිරීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත්වූහ. තරඟයේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලකට හිමිවිය.
දෙපිල අතර සිවුවැනි එක්දින තරගය හෙට (8) සූරියවැව ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments